ජංගම දුරකථන වර්ග

Submitted by admin on

ජංගම දුරකථන මූලික දුරකථන (Basic phones), විශේෂාංග දුරකථන (Feature phones) සහ සුහුරු දුරකථන (Smart phones) ලෙස වර්ග තුනකට බෙදා දක්වන්න පුළුවන්.

මේ වන විට බොහෝ දෙනෙක් ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන්න පෙළඹී සිටිනවා. විශේෂාංග ජංගම දුරකථනත් වෙළඳපොළේ පහසුවෙන් මිල දි ගන්න පුළුවන්. මූලික දුරකථන නම් වෙළදපොළේ බහුලව දකින්න නැහැ.

නව ජංගම දුරකථනයක් මිල දී ගන්නට යන අයට පහත දක්වා ඇති එම දුරකථන වර්ග ගැන වැඩි විස්තර දැනගැනීම ප්‍රයෝජනවත් වේවි.

මූලික දුරකථන (Basic phones)

Nokia 1110i
Nokia 1110i මූලික දුරකථනයක ඡායාරූපයක්

මූලික ජංගම දුරකථනවල දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාව සහ කෙටි පණිවිඩ යැවීමේ හැකියාව යන හැකියාවන් පවතිනවා.  "මූලික" යන වචනය නමට භාවිතා වන්නේ මෙම දුරකථනවල සාමාන්‍යයෙන් පවතින්නේ ජංගම දුරකථනයක පැවතිය යුතු මූලික හැකියාවන් පමණක් වීම නිසයි. සමහර මූලික ජංගම දුරකථනවල කැල්කියුලේටරය, එලාම් ඔරලෝසුව වැනි පහසුවකම් ද පවතිනවා. කුඩා තිරයක් සහ එබිය හැකි බොත්තම්වලින් සමන්විත මෙම දුරකථන අන්තර්ජාලයට සම්බන්ධ නැහැ.

ජංගම දුරකථන භාවිතය ලොව ආරම්භ වූ මුල් කාලයේ මෙම දුරකථන භාවිතා කෙරුනා.

වර්තමානයේ මූලික දුරකථන වෙළඳපොලේ බහුලව දකින්න නැහැ.

විශේෂාංග දුරකථන (Feature phones)

Samsung B310 විශේෂාංග දුරකථනයක ඡායාරූපයක්

ජංගම දුරකථන භාවිතය ලොව ප්‍රචලිත වීම ආරම්භයේදී පැවති මූලික දුරකථනවලට පසු කාලයේදී වැඩි වැඩියෙන් විශේෂාංග එක් වීම නිසා යම් කාලයකට පසු ජනප්‍රිය වූ ජංගම දුරකථන ෆීච(ර්) ෆෝන් ලෙස හැඳින්වෙන්න ගත්තා. ෆීච(ර්) ෆෝන්වලට වඩා බෙහෙවින්ම වැඩි විශේෂාංග මෙකල ඇති ස්මාර්ට් ෆෝන්වල පවතිනවා. එසේ බැලීමේදී මේ කාලයේ ෆීච(ර්) ෆෝන් එකක් යැයි අප හඳුන්වන දුරකථන සැබෑවටම විශේෂාංග හොඳටම අඩු දුරකථන ලෙස දකින්න පුළුවන්. එසේ වුවත් එම නම මේ වන විට ලෝකයේ සම්මත වී ඇති නිසා මූලික දුරකථන නොවන සහ ස්මාර්ට් ෆෝන්වලට වඩා අඩු හැකියාවන් ඇති ජංගම දුරකථන ෆීච(ර්) ෆෝන් ලෙස සම්මතයෙන් හැඳින්වෙනවා.

ෆීච(ර්) ෆෝන් සාමාන්‍යයෙන් එබිය හැකි බොත්තම්වලින් යුක්තයි. ඇඟලි තුඩුවල ස්පර්ශයෙන් හැසිරවිය හැකි තිරයක් මෙම දුරකථනවල සාමාන්‍යයෙන් නැහැ. මේවායේ ඇති හැකියාවන් ප්‍රමාණය සීමිතයි. ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් සමාගමේ iOS වැනි සංකීර්ණ භාවයෙන් වැඩි ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති (Mobile phone operating systems) මෙම දුරකථනවල භාවිතා කෙරෙන්නේ නැහැ. නොයෙක් ආකාරයේ යෙදුම් (Apps - ඇප්ස්) මෙම දුරකථනවල ස්ථාපනය (Install - ඉන්ස්ටෝල්) කරන්න සාමාන්‍යයෙන් නොහැකියි. එසේ වුවත් බොහෝ විට නිෂ්පාදකයා විසින්ම සීමිත හැකියාවන් ඇති සීමිත යෙදුම් සංඛ්‍යාවක් මෙම දුරකථනවල ස්ථාපනය කර තිබෙනවා දකින්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් බොහොම සීමිත ප්‍රමාණයක් මෙම දුරකථනවල පවතින්න පුළුවන්. ෆොටෝ ගැනීමට සහ වීඩියෝ කිරීමට හැකිමුත් උසස් තත්වයේ කැමරාවක් බොහෝ විට පවතින්නේ නැහැ.

ෆීච(ර්) ෆෝන්වල හැකියාවන් සීමිත වුවත් අන් අයට දුරකථනයෙන් කතා කිරීමටත් SMS පණිවිඩ යැවීමටත් මෙම වර්ගයේ දුරකතයක් භාවිතා කරන්න පුළුවන්. දින දර්ශනය (Calendar), ගණක යන්ත්‍රය (Calculator), වෙලාව සිහිගන්වනය (Alarm clock), රේඩියෝව ආදී සීමිත යෙදුම් ප්‍රමාණයක් බොහෝ ෆීච(ර්) ෆෝන්වල දකින්න පුළුවන්.

ෆීච(ර්) ෆෝන් එකක් එක් වරක් ආරෝපණය කළ විට සාමාන්‍යයෙන් දින කිහිපයක් නැවත ආරෝපණය නොකර භාවිතා කරන්න පුළුවන්. සමහරක් විට මෙම කාලය සතියක්, සති දෙකක් තරම් පමණ වන්නත් පුළුවන්. මෙසේ දිගු කාලයක් නැවත ආරෝපණය නොකර භාවිතා කරන්න හැකිවීම ෆීච(ර්) ෆෝන්වල ඇති විශේෂ වාසියක්.

ෆීච(ර්) ෆෝන්වල මිල සමාර්ට් ෆෝන්වල මිල තරම් වන්නේ නැහැ.

සුහුරු දුරකථන (Smartphones)

Samsung Galaxy F13 සුහුරු දුරකථනයක ඡායාරූපයක්

ස්මාර්ට් ෆෝන් එකක් යනු අප කැමති යෙදුම් ස්ථාපනය කර භාවිතා කළ හැකි අන්තර්ජාලයට ද සම්බන්ධ කර ගත හැකි නවීන පරිගණක තාක්ෂණය භාවිතා වන දුරකථනයක් යැයි සලකන්න පුළුවන්.

ස්මාර්ට් ෆෝන් සාමාන්‍යයෙන් ඇඟලි තුඩුවල ස්පර්ශයෙන් හැසිරවිය හැකි තිරයකින් යුක්තයි. මේවායේ ඇති හැකියාවන් ප්‍රමාණය විශාලයි. ගූගල් සමාගමේ ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් සමාගමේ iOS වැනි සංකීර්ණ භාවයෙන් වැඩි ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති මෙම දුරකථනවල භාවිතා කෙරෙනවා. නිෂ්පාදකයා සෑහෙන පමණ යෙදුම් සංඛ්‍යාවක් මෙම දුරකථනවල ස්ථාපනය කරනවා. අතිරේකව නොයෙක් ආකාරයේ යෙදුම් මෙම දුරකථන භාවිතා කරන්නාටමත් ස්ථාපනය කරගන්න හැකියි.  අන්තර්ජාලය භාවිතා කරන යෙදුම් බොහෝ ප්‍රමාණයක් මෙම දුරකථනවල පවතින්නවා. ෆොටෝ ගැනීමට, වීඩියෝ කිරීමට හැකි උසස් තත්වයේ කැමරා පසුපස කැමරාව සහ ඉදිරිපස කැමරාව ලෙස සාමාන්‍යයෙන් දෙකක් වත් මෙම දුරකථනවල පවතිනවා. සමහර ස්මාර්ට් දුරකථනවල කැමරා ගණන දෙකට වඩා වැඩියි.

ස්මාර්ට් ෆෝන්වල හැකියාවන් බහුල නිසා ෆීච(ර්) ෆෝන් එකකින් කළ හැකි දෑ ට අමතරව තව බොහෝ දෑ සඳහා මෙම වර්ගයේ දුරකථනයක් භාවිතා කරන්න පුළුවන්. ඊමේල් භාවිතය, වෙබ් අඩවිවලට පිවිසීම, තමන් ඉන්නා ස්ථානය දක්වන සහ තමන්ට යා යුතු තැනකට ඇති මාර්ගය ආදිය දක්වන සිතියම් භාවිතය, බැංකු කටයුතු කිරීම, ෆොටෝ සහ වීඩියෝ සංස්කරණය කිරීම, YouTube, Facebook වැනි සමාජ මාධ්‍ය භාවිතය, Whatsapp, Zoom, Teams වැනි අන්තර්ජාලය හරහා වීඩියෝ සාකච්ඡා පැවැත්වීමටද හැකි යෙදුම් භාවිතය ඇතුළු තවත් බොහෝ දෑ ස්මාර්ට් ෆෝන් එකකින් කරගන්න පුළුවන්. පිටරටක සිටින අයෙකුට සාමාන්‍ය දුරකථනයකින් කතා කිරීමේදී වැඩි ගාස්තුවක් දුරකථන ගාස්තු ලෙස ගෙවිය යුතු මුත් Whatsapp, Zoom, Teams ආදී යෙදුම් භාවිතයේදී අන්තර්ජාල දත්ත (data) සඳහා පමණක් ගාස්තු අය කෙරෙන නිසා එබඳු යෙදුම් භාවිතයෙන් පිටරට ඉන්නා අයට වීඩියෝ කෝල් ගැනීම වුවත් අඩු වියදමකින් කරගන්නට පුළුවන්.

ස්මාර්ට් ෆෝන් එකක් එක් වරක් ආරෝපණය කළ විට සාමාන්‍යයෙන් දින දෙක තුනකින් පමණ නැවත ආරෝපණය කරන්න සිදුවෙනවා. භාවිතා කරන කාලය අනුව සමහරෙකුට දිනපතා වුවත් ස්මාර්ට් ජංගම දුරකථනයක් ආරෝපණය කරන්න සිදුවෙන්න පුළුවන්. මේ කාලයේ අධි ධාරිතාවකින් යුත් බැටරි සහිත ස්මාර්ට් ජංගම දුරකථනත් දකින්න පුළුවන්. එවන් දුරකථනයක් නම් සමහර විට සතියක් පමණ වුවත් නැවත ආරෝපණය නොකර භාවිතා කරන්න පුළුවන්. ඒත් එම කාලය දුරකථන භාවිතා කරන කාලය, භාවිතා කරන යෙදුම් ආදී සාධක මත තීරණය වෙනවා.

ස්මාර්ට් ෆෝන්වල මිල ෆීච(ර්) ෆෝන්වල මිල මෙන් කිහිප ගුණයක් වනවා. සමහර ස්මාර්ට් ෆෝන්වල මිල රුපියල් ලක්ෂ ගණනක් වනවා.